1999 අංක 14 දරණ ප්‍රාදේශීය සභා (සංශෝධිත) පනත හා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ දෙවන වගන්තිය (1) වන දාතමින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ 2005.12.01 දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2005.11.30 දින තෙක් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ මෙම භූමි භාගය අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව මෙම පළාත් පාලන ආයතනය සඳහා 2006 මාර්තු 30 වන දින පවත්වනු ලැබු පළාත් පාලන මැතිවරණය මඟින් මහජන කැමැත්ත හා අභිලාසය මත මහජන නියෝජිතයින් 09 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තේරී පත්වන ලද අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 05 දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනෙක්ද ඇතුළත් විය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල ඩබ්.ජී.නිහාල් ද සිල්වා මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ගරු සභාපති වශයෙන් ද, එම පක්ෂයම නියෝජනය කල ජයවීර වේරගොඩ මහතා දෙවැනි වැඩිම මනාප සංඛ්‍යාවකින් ගරු උප සභාපති වශයෙන්ද තේරී පත්විය. 2006.04.15 දින විල්පිට ගොඩපිටිය මහජන පුස්තකාලය පිහිටි ස්ථානයේ සංස්ථාපනය කරන ලද මෙම සභාවේ ප්‍රථම සභා රැස්වීම 2006.04.20 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එදින සිට මේ දක්වා සභා එකඟතාවය මත සෑම මසකම අවසන් සතියේ සභාව රැස්වී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සිදු කරනු ඇත. වසර 07ක පමණ කාලයක් මහජන පුස්තකාලයට පිහිටි ස්ථානයේ වූ අතුරලිය ප්‍රාදේශීය සභාව 2013.10.21 වන දින සිට අක්කර 02ක පමණ විශාලත්වයකින් යුත් පරවිටිගෙවත්ත ඉඩමේ ඉදි කරන ලද නව කාර්යාල ගොඩනැගිල්ල වෙත ගෙන එන ලදී.
පළමු සභා වාරයෙන් වසර 05කට පසු, එනම් 2011 අප්‍රේල් 01 වන දින පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණය මඟින් දෙවන සභා වාරය සඳහා පෙර පරිදිම මහජන නියෝජිතයින් 09 නෛකුගෙන් යුත් කණ්ඩායමක් තේරී පත්වන ලද අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 06 දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙක්ද ඇතුළත් විය. පළමු සභා වාරයේ පරිදි ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල ඩබ්.ජී.නිහාල් සිල්වා මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ගරු සභාපති වශයෙන් ද, එම පක්ෂයම නියෝජනය කල ජයවීර වේරගොඩ මහතා දෙවැනි වැඩිම මනාප සංඛ්‍යාවකින් ගරු උප සභාපති වශයෙන්ද තේරී පත්විය. 2015 මැයි 15 වන දින දෙවන සභාව විසුරුවා හැරීමෙන් පසු විශේෂ කොමසාරිස් පාලනය යටතේ ආයතනයේ ඉදිරි කටයුතු හා පරිපාලනමය කටයුතු කරගෙන යාම අතුරලිය ප්‍රාදේශීය සභා ලේකම්තුමිය වශයෙන් කටයුතු කල කේ.පී.පේමවතී මිය වෙත පැවරෙන ලද අතර එතුමියගේ මග පෙන්වීම යටතේ බල ප්‍රදේශයේ සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කරමින් ආයතනයේ ඉදිරි පියවරයන් වෙත ලගා වීමට අපේක්ෂිතව කටයුතු කරන ලදී. දෙවන සභා වාරයට පසු වූ විශේෂ කොමසාරිස් පාලනයෙන් වසර 03 කට ආසන්න කාලයකින් පසු එනම් 2018.02.10 වන දින පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණය මඟින් තුන් වන සභා වාරය සඳහා කොට්ඨාශ ක්‍රමය අනුව 2018.03.27 වන දින මහජන නියෝජිතයින් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තේරී පත්වන ලදී. විශේෂත්වයක් ලෙස මෙවර කාන්තා නියෝජනය ද මීට ඇතුළත් වී ඇත. මෙම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 09ක් හා එක් මන්ත්‍රීවරියකින් ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරියන් 03 කින් ද ,ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු 02 කින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙක්ගෙන් ද අන්තර් ගත වේ.
පළමු හා දෙවන සභා වාරයේ දී පරිදිම මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ඩබ්.ජී.නිහාල් ද සිල්වා මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ගරු සභාපති වශයෙන්ද, එම පක්ෂයම නියෝජනය කල ජයවීර වේරගොඩ මහතා දෙවැනි වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ගරු උප සභාපති වශයෙන් ද තේරී පත්විය. මෙම සභාවේ ප්‍රථම සභා රැස්වීම 2018.03.27 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එදින සිට මේ දක්වා සභා එකඟතාවය මත සෑම මසකම අග භාගයේ සභාව රැස් වී සභා බල ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා කටයුතු කරනු ඇත.
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ අකුරැස්ස මැතිවරණ කොට්ඨාශයට අයත්වූ වර්ග කිලෝමීටර 63.00 ක වර්ගඵලයකින් යුතු සාරවත් බිම් සහිත සුන්දරත්වයෙන් පිරි අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 200 – 1400 ක උන්නතාංශ පරාසයක් තුළ , එක් පසෙක සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වන පියසින් ආරම්භ වී නිල්වන් දහරින් ස්වයංපෝෂිතව අවුරුද්ද පුරා ගලා බසින නිල්වලා නදියෙන්ද, තවත් පසෙක අක්කර 500 කින් යුත් හරිත වර්ණයෙන් වසාගත් ජෛව විවිධත්වයෙන් යුත් ඔලියගන් වන රක්ෂිතයෙන් ද සීමා වී පවතී
වර්ග කිලෝමීටරයට 553 ක පමණ ජන ඝනත්වයක් තුල සිංහල, ඉන්දියානු දෙමළ , ශ්‍රී ලාංකික දෙමළ හා මුස්ලිම් යන ජන වර්ග වලින් අන්තර්ගත 38444 කට ආසන්න ජන සංඛ්‍යාව තුළ පුරුෂ ජනගහනය 18069 කින් හා ස්ත්‍රී ජනගහනය 20375 කින් යුක්තව සහෝදරත්වයෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත්වනු ලබයි.
තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් යන බෝග වගාවන් මෙන් ම වී වගාවද බහුලව දක්නට ලැබෙන මෙම බල ප්‍රදේශයේ කෘෂි කර්මය පදනම් කර ගෙන ජීවත් වන ජනතාව විසින් තේ වගාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියාකරන අතර සත්ත්ව පාලනය වැනි කෘෂි කාර්මික ක්ෂේත්‍ර මෙන්ම ස්වයං නිෂ්පාදන වල නියැලීම තුළින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මනා දායකත්වයක් ලබා දෙනු ලැබේ.
මෙම බල ප්‍රදේශයට සුවිශේෂි වූ ආගමික හා සංස්කෘතික ආයතන වන ඵෙතිහාසික ගොඩපිටිය රජමහා විහාරය, ඌරුමුත්ත රජ්ජුරු බණ්ඩාර දේවාලය ඇතුළු විහාරස්ථාන බෞද්ධ ආගමිකයන් විසින් ද , ගොඩපිටිය ජුම්මා දේවස්ථානය මුස්ලිම් භක්තිකයින් විසින් ද, බලකාවල දේවාලය කතෝලික භක්තිකයින් විසින් ද මුල්කර ගනිමින් තම තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පෙළ ගැසී සිටිති.
නිර්මාණශීලී හා රටට වැඩදායී පුද්ගලයින් බිහිකිරීමේ උදාරතර කාර්යය ඉටු කරන පාසල් 20 කින් යුත් පාසල් පද්ධතිය තුළ ප්‍රාථමික පාසල් 03 ක්ද, කනිෂ්ඨ විද්‍යාල 05ක්ද, පිරිවෙන් 03ක්ද අන්තර්ගත වන අතර වෘත්තිය හා කාර්මික දැනුම ලබා දීම සඳහා උසස් අධ්‍යාපන ආයතන වන නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨය , ජාතික තරුණ සේවා සභාවද ඇතුළත් වේ.
පරිපාලනමය වශයෙන් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් ග්‍රාම නිලධාරී වසම් 28කින් ද, දිළිදු බව තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද සමෘද්ධී බැංකු 02ක් සහිත සමෘද්ධි කලාප 02කින් ද, කෘෂි කර්මාන්තයේ අභිවෘද්ධිය හා දියුණුව සඳහා විල්පිට ගොවිජන කේන්ද්‍රයකින් ද සමන්චිත වන අතර රක්ෂිත වනය සංවර්ධනය හා ආරක්ෂාව උදෙසා ආරම්භ කරන ලද අකුරැස්ස අඩවි වන කාර්යාලය ද, බල ප්‍රදේශයේ ජනතාව බෝවන හා වසංගත රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා මහඟු මෙහෙයක් ඉටු කරන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය ද අනතර්ගත වේ. මෙහිදී අතුරලිය ප්‍රාදේශීය සභාව ඇරබි 2006 වර්ෂයේ දීම අකුරැස්ස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් වෙන්වී අතුරලිය බල ප්‍රදේශයට වෙනම ම කාර්යාලයක් බිහි වීම විශේෂත්වය කි.
ප්‍රධාන වාණිජ නගරය වශයෙන් තිබ්බොටුවාව පදනම් කරගෙන ප්‍රධාන මාර්ගය වන අකුරැස්ස - අතුරලිය හරහා මාතර මාර්ගය ද , අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගය ද , වැලිහේන හරහා පිටබැද්දර මාර්ගය ද, තලහගම හරහා මාකඳුර මාර්ගය ද ඒවාට අනුබද්ධිත සභාවට අයත් මාර්ග 171 කින් ද යුක්ත මාර්ග ජාලයක් මෙම බල ප්‍රදේශය තුළ ව්‍යාප්ත වී ඇත.
අතුරලිය ප්‍රාදේශීය සභාව මඟින් තිබ්බොටුවාව නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලව, තිබ්බොටුවාව මහජන පුස්තකාලය, විල්පිට මහජන පුස්තකාලය, විල්පිට ශ්‍රීපති පෙර පාසල සෘජුවම පාලනය වන අතර ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය මඟින් 2015 මැයි මස දක්වා ගරු සභාපතිතුමා ප්‍රමුඛ සභාවේ ප්‍රතිපත්තිමය තීරණ ඉටු කළ නමුත් ඉන් අනතුරුව සභාවක් පත්වන තුරු පත්වූ විශේෂ කොමසාරිස් පාලනය යටතේ පාලනය වේ.